ආදරණීය ජීවිතය වෙත ලියමි,
කාලය ගතවෙන්නට ගතවෙන්නට මට ඔබව එපා වීයයි. එය බොහෝ සාමාන්‍ය දෙයක් බව ඔබත් මමත් හොඳින් දනිමු. එහෙත් ඔබට තවදුරටත් "ආදරණීය ජීවිතය " ලෙස අමතන්නට මම මැලි නොවෙමි. ඔබ වික්ශිප්තය. මමද වික්ශිප්තව සිටිමි.
මා ඔබට බොහෝ සෙයින් ඇලුම් කල කාලයක් විය. ඔබව තදින් වැලඳගෙන මගේම යයි මිමිණූ කාලයක් විය. එහෙත් අසීමිත බලාපොරොත්තු වලින් යුක්ත මට එය තවදුරටත් එසේ නොවෙන බව ඔබ මටත් වඩා හොාඳින් දනී.
අහස උසට නගින බඩු මිල , ඒ පමණට තරම් නොවන පඩි පත, බලාපොරොත්තු බිඳ වැටීම්, දිනෙන් දින රට පිළිබඳව මතුවන ඍණාත්මක පුවත් සිත පීඩනයට පත් කර ඇත. කසාදයක් , දරුවෙක් ගැන සිතන්නට බැරි තරමට ඔළුව බර වෙලාය. අවට සිටින සැමදෙනාම එක සමාන පීඩනයකින් සහ කෝපයකින් ගිනියම් වූ මොළ ගෙඩි දරාගෙන ජීවත් වීම සඳහා වූ සටනේය.
රෑ නින්දට යන විටත් , මහ රෑ ජාමේ ඇහැරීගෙනත්, උදයේ අවදි වුණු පසුත් සතුටක් කියා දෙයක් මෙලොව ඇතිදැයි සිත නොදනියි. ඉතින් ජීවිතය , තවදුරටත් ඔබව මට අවැසි දැයි තීරණය කරගත නොහැකිව මොහොතකට හෝ ලතවෙන්නට සාධාරණ කරුණු ඇතැයි ඔබ පැහැදිලිව වටහා ගන්නට ඇත.
නමුදු අවසානයේ මම ජීවත් වන්නට තීරණය කලෙමි. ලෝකය පෙරලුනත් මා ජීවත් විය යුතුය . පණ ඇද ඇද හෝ, ගොළුබෙල්ලෙකු මෙන් ඉතා සෙමින් හෝ මා තවදුරටත් මේ ජීවන මගෙහි ගමන් කල යුතුය. හීන දැකීමට තහනම් කල රටක ජීවත් වුවද මා තවදුරටත් අනාගතය වෙනුවෙන් සිහින දැකිය යුතුමය. ජීවිතය, ඔබ මගේය. ඔබේත් මගේත් ආරම්භයද අවසානයද එකටම වන්නේය. ඔබව යමෙකු මගෙන් උදුරා ගන්නට තැත් කලහොත් මා ඔබ වෙනුවෙන් සටන් කල යුත්තේය. මක්නිසාදයත් බොහෝ දෙනෙකු නොදන්නා නමුදු ජීවිතය වෙනුවෙන් සටන් කිරීම සියල්ලන්ගේම අයිතිවාසිකමක් වන බැවිනි.
මීට
සමන්තිකා.
හායි තරින්දි aka සමන්තිකා. මගේ බ්ලොග් එකේ කමෙන්ට් කලාට ඔයාට බ්ලොග් එකක් තියෙනවා කියල දැන ගෙන හිටියෙ නැහැ. ජීවිතේ දාල යනව එහෙම නෙවෙයි. මෙචර ලස්සනට ලියන්න පුලුවන් කෙනෙක් ඕනමයි
ReplyDelete